>

Monday, September 1, 2014

Pin It

Widgets

මේ මඤ්ඤොක්‌කාවලටත් පිළිකා මර්දනය වෙනවාද?


මේ මඤ්ඤොක්‌කාවලටත් පිළිකා මර්දනය වෙනවාද?
කෘෂි ක්‌ෂේත්‍රයේ ඉඩම් ඒකකයකින් වැඩිම අස්‌වැන්නක්‌ ලබා ගත හැකි භෝගය ලෙස සැළකෙන්නේ මඤ්ඤොක්‌කාය. එසේම මඤ්ඤොක්‌කා ඕනෑම පසක ඕනෑම දේශගුණික තත්ත්වයක්‌ යටතේ වගා කළ හැකි අවම කෘෂි යෙදවුම් ප්‍රමාණයක්‌ අවශ්‍යවන බොහෝ විට රෝග හා පළිබෝධවලින් තොර භෝගයකි.

අප රටේ මඤ්ඤොක්‌කා, කොස්‌, දෙල්, අල, බතල ආර්ථිකය නැත්තටම නැතිවුණේ පොදු පෙරමුණ ආණ්‌ඩුව විසින් ප්‍රධාන ඡන්ද පොරොන්දුවක්‌ ලෙස පාන් මිල රුපියල් 3.50 ට බැස්‌සවීමත් සමගය. අද වගේ පාන් පිළිබ`ද විවේචනයක්‌ නොතිබූ ඒ සමයේ ජනතාව මඤ්ඤොක්‌කා කොස්‌, දෙල්, අල, බතල සියල්ල අතහැර පාන් සරන ගියේය. ගලවන්නට වැය වන මුදල වත් මඤ්ඤොක්‌කා විකුණා සොයා ගන්නට බැරි නිසා ගොවියන් විසින් මඤ්ඤොක්‌කා වගාව සම්පූර්ණයෙන්ම අතහැර දමන ලදී. අප රටේ ඒ දක්‌වාම ග්‍රාමීය ගොවි ජනයා විසින් සුළු හා මධ්‍යම පරිමානයෙන් කළ මඤ්ඤොක්‌කා වගාව මඤ්ඤොක්‌කා අපනයනය කරන්නට පටන්ගැනීමත් සමඟ මහා පරිමාණ වගාවක්‌ බවට පත් වූයේය. ඒ අනුව ඇති හැකි අය විසින් විශාල ඉඩම්වල වාණිජ මට්‌ටමින් මඤ්ඤොක්‌කා වවන්නට පටන් ගත්තේය.
ඒ අතර මඤ්ඤොක්‌කා සාමාන්‍ය ජනතාවගේ ආහාරයක්‌ වනවාට වඩා කා බී සතුටුවන මහත්වරුන්ගේ කට ගැස්‌මක්‌ බවට පත් වූ අයුරුද නිරීක්‌ෂණය කළ හැකි විය.
අප රටේ මඤ්ඤොක්‌කාවලට අලුත්ම කල දසාවක්‌ උදාවූයේ මඤ්ඤොක්‌කාවල පිළිකා නාශක ගුණ ඇති බව ජනමාධ්‍යවලින් පුලුල් ලෙස ප්‍රචාරය වීමත් සමඟය. මෙම ප්‍රචාරයත් සමඟ ඉතිහාසයේ පළමු වතාවට හාල් කිලෝ එකේ මිල පරදවා මඤ්ඤොක්‌කා කිලෝ එකේ මිල ඉහළ නැංගේය. 1977 එක්‌සත් ජාතික පක්‌ෂ ඡන්ද ප්‍රචාරය විසින් ජනතාවට තිත්ත කර තිබූ මඤ්ඤොක්‌කා නැවතත් ජනප්‍රිය ආහාරයක්‌ බවට පත්වූවා පමණක්‌ නොව පැකිලීමකින් තොරව ඕනෑම මිලක්‌ ගෙවා ගන්නා ආහාරයක්‌ බවටද පත් වූයේය. මේ සමඟ මඤ්ඤොක්‌කා තරු පහේ හෝටලයටත් වැද්දගන්නා සුපිරි නම්බුකාර කෑමක්‌ බවට පත්වුවා කිවහොත් වඩාත් නිවැරදිය.
නමුත් ඒ යුගයේ ගෙවත්තේ කොරටුවේ හෝ හේනේ තමන් විසින්ම වස විසෙන් තොරව වවාගත් මඤ්ඤොක්‌කා වෙනුවට මෙදා ජනතාවට මිලදී ගන්නට සිදු වී ඇත්තේ අප පෙර කී ලෙස මහා පරිමාණයෙන් වාණිජව වගාකරණ මඤ්ඤොක්‌කාය. ඒ අනුව නූතන පාරිභෝගිකයා විසින් පිළිකා නාශක ගුණ ඇතැයි ඉතා විශ්වාසයෙන් මිලදී ගන්නා මඤ්ඤොක්‌කා දැන් වගාකර වෙළෝදපොළට සපයන ආකාරය ගැන මනා විමර්ශනයක්‌ කළ යුතුව තිබේ.
මඤ්ඤොක්‌කා වගාවේදී මුලින්ම සිදුකරන්නේ ඉඩමට පූර්ණ නිර්ගමන වල් නාශකයක්‌ ඉස වගාබිමේ ඇති සියලුම පැලෑටි පමණක්‌ නොව සතා සිව්පාවාද විනාශ කර දැමීමයි. ඊළ`ග පියවර වන්නේ බර ට්‍රැක්‌ටර් කර බර නගුල් යොදා අනවශ්‍ය තරම් ගැඹුරට සී සෑමයි. මෙසේ සී සාන ලද ඉඩම වැස්‌සක්‌ වැස්‌ස ගමන්ම තද සෝදාපාලුවට ලක්‌වේ. මෙසේ සී සාන ලද ඉඩම්වලට පහළින් ඇති පාරක පවා යන්නට බැරි තරමට මඩෙන් එම පාරවල් පිරීයැමෙන් ඒ බව මොනවට පැහැදිලි වෙයි. බෑවුම් සහිත ඉඩමක්‌ නම් තත්ත්වය තවදුරටත් බරපතළ වෙයි. එහි අරුත වගාව පසේ සාරවත් බව මත නොව සම්පූර්ණයෙන්ම රසායනික පොහොර මත පවත්වාගෙන යන්නට සිදු වන බවයි .
සී සෑමෙන් පසු මඤ්ඤොක්‌කා දඬු සිටුවීම සිදුකරයි. දඬු සිටවූ ඉඩම සති කීපයක්‌ යන්නට මත්තෙන් වල් පැළවලින් වැසී යන නිසා වගාකරුවන් සිදුකරන්නේ නැවතත් පූර්ණ නිර්ගමන වල්නාශකයක්‌ වගාබිමට යෙදීමයි. වල් මැරීගිය පසු වගාවට රසායනික පොහොර විශාල වශයෙන් යොදයි. කාබනික පොහොරක්‌ ලෙස යොදනවානම් යොදන්නේ රසායනික ද්‍රව්‍ය රාශියක්‌ ලබාදී ඇතිකරන බොයිලර් කුකුල් අපද්‍රව්‍යයන්ය. අධික ලෙස පොහොර යෙදීමෙන් පසු නැවතත් වල්පැළ වර්ධනය වන බැවින් නැවතත් පූර්ණ වල්නාශකයක්‌ ඉසීමට ගොවියන්ට සිදුවෙයි. ගස්‌ සෑහෙන මට්‌ටමට වැඩුණු පසුව නැවත වරක්‌ රසායනික පොහොර යෙදීම සිදුකරයි.
වඩාත්ම භයානක අවස්‌ථාව එළඹෙන්නේ මඤ්ඤොක්‌කා ගැලවීම ලංවීමත් සමඟයි. මඤ්ඤොක්‌කා ගැලවීමට දින කීපයක්‌ තිබියදී හතරවෙනි එසේත් නැත්නම් පස්‌වෙනි වතාවටත් වගාබිමට පූර්ණ වල්නාශක භයංකාර ප්‍රමාණයෙන් ඉසිනු ලබයි. වල්පැළ ඇතත් නැතත් මෙම වල්නාශක ඉසීම අනිවාර්යයෙන්ම සිදු කරයි. මෙසේ ඉසින අධික වල්නාශක ප්‍රමාණය නිර්දේශිත ප්‍රමාණය ඉක්‌මවා යෑයි කිව නොහැක්‌කේ මෙම අවස්‌ථාවේදී මඤ්ඤොක්‌කා වගාවට වල්නාශක යෙදීමට කිසිම නිර්දේශයක්‌ නැති බැවිණි. එවැනි නිර්දේශයක්‌ වල්නාශක සමාගමකින් හෝ එම සමාගම් පුදන දොල පිදේණි වලින් බඩ වඩාගන්නා කෘෂිකර්ම උගතෙක්‌ විසින්වත් සිදුකර නැත. එසේනම් එලෙස වල්නාශක ඉසින්නේ කුමකට දැයි පාඨක ඔබ මවිත වනු ඇත. එසේ වල්නාශක යොදන්නේ පස බුරුල්කිරීම ස`දහාය. එවිට මඤ්ඤොක්‌කා අල එකක්‌වත් නොකැඩී ඉතා පහසුවෙන් ගලවා ගත හැකිය. එසේම මඤ්ඤොක්‌කා ගැලවීමට යෙදිය යුතු කම්කරුවන් ගණන විශාල වශයෙන් මෙම ක්‍රමයෙන් අඩු කර ගත හැකිය.
යම්කිසි වගා ක්‌ෂේත්‍රයකට ඕනෑම කෘෂි රසායනිකයක්‌ යොදා අස්‌වැන්න නෙළා ගැනීමට අවම වශයෙන් සති 2 ක්‌ ගත විය යුතු අතර විෂභාවය වැඩි කෘෂිරසායනික ස`දහා එය ඇතැමි විට සති 3 කි. නමුත් වල්නාශක යොදා පස බුරුල් වූ සැනින් හනි හනිකට ගලවා උණු උණුවේ වල්නාශක උරාගත් මඤ්ඤොක්‌කා වෙළෝදපොළට යෑවේ.
වල් නාශකයක්‌ හෝ වෙනත් ඕනෑම කෘෂි රසායනිකයක්‌ යනු ඉතාම භයානක විස රසායනිකයකි. ඒවා ලේබල් කරන විට හිස්‌ කබල සහ ඇට කටු සංකේතය යොදා ඊට යටින් වස කියා ලියා ඇත්තේ ඒවා මාරාන්තික වස වන නිසාමය. ඒවා මිනිසාට පමණක්‌ නොව පරිසරයටත් පරිසරයේ වෙසෙන සෑම ජීවියෙකුටමත් භයංකාර විනාශයක්‌ උදාකරයි. එය එසේ වන විට වල් නාශකයක්‌ හෝ වෙනත් ඕනෑම කෘෂි රසායනිකයක්‌ වගාවකට යෙදිය යුත්තේ නිර්දේශිත අවස්‌ථාවක නිර්දේශිත ප්‍රමාණයෙන්ම පමණි. එසේම කරන්නට වෙන කිසිම දෙයක්‌ නැති විට පමණි. නමුත් පෙරද ස`දහන් කළ පරිදි මඤ්ඤොක්‌කා ගැලවීමට පස බුරුල්කිරීම ස`දහා යෑයි නිර්දේශයක්‌ වල්නාශක වැඩි වැඩියෙන් විකුණා ගන්නට දිවා රෑ වෙහෙසෙන කෘෂිරසායන සමාගමකින්වත් සිදුකර නැත. නිර්දේශයක්‌ නැතිවිට නිර්දේශිත ප්‍රමාණයක්‌ කෙසේවත් තිබිය නොහැකිය. මෙය අතිශයින්ම බරපතළ සහ භයංකාර තත්ත්වයකි.
නමුත් මෙසේ කිසිදු නිර්දේශයක්‌ නොමැතිව මහජනයා විසින් ඉදිරි දින කීපයේදී අනිවාර්යයෙන්ම ආහාරයට ගන්නා භෝගයකට ප්‍රසිද්ධියේ මහා පරිමානයෙන් වල්නාශක ඉසින විට කිසිම කෘෂිකර්ම නිලධාරියෙක්‌ හෝ සෞඛ්‍ය නිලධාරියෙක්‌ එසේ කිරීමට විරුද්ධව කිසිම පියවරක්‌ ගන්නේද නැත. මෙය වියට්‌නාම් යුද්ධයේදී ඇමරිකාව විසින් වියට්‌නාම් භූමියට මහා පරිමාණයෙන් ගුවනින් වල්නාශක ඉස්‌සාට සමාන නොවන්නේද? අපට තේරෙන හැටියට නම් මෙසේ වල් නාශක භාවිතයත් වල් නාශකයක්‌ දත් මැදීම ස`දහා භාවිතයත් අතර වෙනසක්‌ නැත. එය එපමණකටම අතිශය භයංකාර ක්‍රියාවකි . කිසිවෙක්‌ මේ පිළිබ`දව තවමත් අවදිවී නොතිබීම ඊටත් වඩා භයංකාරය. රජරටින් පටන්ගෙන මේ වන විට රටපුරා ව්‍යාප්ත වන කෘෂිකාර්මික වකුගඩු රෝගය සමස්‌ත ජනතාවටම ඉක්‌මනින්ම බෝකිරීමට මෙම ක්‍රියාදාමය තවත් උත්තේජනයක්‌ වීම අනිවාර්යය.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
දිවයින පුවත්පත 2014/08/31

Post a Comment

 
Copyright © 2013 අපි දන්නා නොදන්නා දේ ........
Design by FBTemplates | BTT
Share