>

Sunday, July 13, 2014

Pin It

Widgets

දැස පණමෙන් රැකගනිමු


_________________________


( උපුටා ගත්තේ සිළුමිණ http://www.silumina.lk/2009/08/16/ පුවත්පතෙනි )

ඔන්න ආයෙත් ඇස් ලෙඩ

”මොකද නිමාලි ඔයා ඊයෙ වැඩට නාවෙ“

උදෑසනින්ම නිමාලිගෙන් එහෙම ඇසුවේ කල්පනී.

”අපේ දුවට ඇස්ලෙඩ හැදිලා. එයාව ඩේ-කෙයා දාන්න බැහැනෙ. ඒ නිසයි මම ඊයෙ වැඩට නාවෙ. අදත් මම වැඩට ආවෙ අපේ අම්ම බබා ළඟ නවත්තලා.” නිමාලි පිළිතුරු දුන්නා.

මේ දිනවල ‘ඇස්ලෙඩ’ ලංකාවෙ බොහෝ ප්‍රදේශවල පැතිරිලා. ඇස්ලෙඩ පැතිරෙන කාලෙට රටපුරා විශාල පිරිසකට ඇස්ලෙඩ වැළඳෙනවා. ඒ අතරින් විශාල පිරිසක් කුඩා දරුවන්; පෙර පාසල් වයසේ 1, 2, 3 වසරවල ඉගෙන ගන්නා දරුවන්.

ඇස් ලෙඩ හැදෙන්නේ ඇයි?, ඇස් ලෙඩවලට ගොදුරු නොවී සිටීමට කළ යුත්තේ මොනවාද? ඇස් රෝගයට ගොදුරු වූ පසුව කළ යුත්තේ කුමක්ද? යන ගැටලු අප යොමුකළා කොළඹ සොයිසා රෝහලේ වෛද්‍ය නිලධාරී ජයරුවන් බණ්ඩාර මහතා වෙත.

”අපේ ඇස කොටස් කීපයකින් නිර්මාණය වුණු ඉතා අපූර්ව අවයවයක්. ඇස නිර්මාණය වී ඇති මෙම කොටස් විවිධ අයුරින් ආසාදනයන්ට ලක් විය හැකියි. අසාත්මිකතාවයන්ට ගොදුරු විය හැකියි. එසේ ආසාදනයට ලක්වන එක් තත්ත්වයක් ‘අක්ෂි පටල ප්‍රදාහය’ (Conjunctivitis) ලෙස හඳුන්වනවා.

ඇසක් ආසාදනය වීමට මූලික වශයෙන්ම හේතුවන්නේ බැක්ටීරියා, වෛරස හෝ දිලීර වර්ගයක්. බොහෝ වෛරස නිසා ඇසේ ඇතිවන ආසාදන අන් අය වෙත පැතිරී යාමේ හැකියාව වැඩියි.

ආසාදන තත්ත්වයක් තවත් අයෙකු වෙත පැතිරී යන්නේ රෝගී පුද්ගලයකුගේ ඇස්වල ඇති කබ, කඳුළු හෝ විෂබීජ තැවරුණු වෙනත් කොටස් නීරෝගී පුද්ගලයකුගේ ඇස්වල තැවරීමෙන් ,.

”බොහෝවිට පොදු වාහනවල ගමන් කරන විට මෙම රෝගය බෝවීමේ හැකියාව තිබෙනවා. රෝගී පුද්ගලයකු විෂබීජ සහිත අතින් ස්පර්ශ කළ ස්ථානයක් නිරෝගී පුද්ගලයකු ස්පර්ශ කිරීමෙන් පසුව ඔහු ඒ අතින් තම දෑස් පිසදැම්මේ නම් පහසුවෙන්ම රෝගය බෝවිය හැකියි.

වැඩිහිටියන් නිතර තම ඇස් ඇල්ලීමට හෝ කැසීමට නොපෙලඹුනත් ළමයින් නිතර තම ඇස් ඇල්ලීමට හෝ කැසීමට පෙලඹෙන නිසයි, ළමයින් අතර ඇස් රෝග වැඩියෙන් දකින්නට ලැබෙන්නේ.”

අක්ෂි පටලයේ ආසාදන නිසා ඇතිවන ඇස් රෝගවල ප්‍රධාන රෝග ලක්ෂණයන් වන්නේ ඇස් ඉදිමීම, ඇස් කැසීම, රතුවීම සහ අධික ලෙස ඇස්වලින් කඳුළු ගැලීමයි.

එසේම ඇස් පිහාටු සහ ඒ අවට ඉදිමුමක් දැක ගත හැකියි. ඊට අමතරව වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයකදී තරමක් ඇලෙන සුලු සුදු පැහැති දියරයක් ගැලීම සහ ඇස් පිහාටු එකිනෙක ඇලීමක් ඇතිවිය හැකියි. එක් ඇසක හටගන්නා මෙම ආසාදන තත්ත්වය බොහෝවිට අනෙක් ඇසටත් බෝවෙනවා.”

”ඔබ පොදු වාහනයක යනවිට තම දෑස් අතින් ස්පර්ශ කළේ නැති වුණත් තම ලෙන්සුවෙන් පිසදමනවා විය හැකියි. එසේ ඇස් පිසදැමීම සඳහා ලේන්සුව අල්ලන විට අතේ තිබෙන විෂබීජ පහසුවෙන්ම ලේන්සුවේ තැවරෙනවා. නැවත ලේන්සුවෙන් දෑස් පිසදමන විට විෂබීජ තැවැරුණු ලේන්සුව ඇසේ ගැටීමෙන් ඇස් ආසාදනයට ලක්විය හැකියි.

වඩාත් සුදුසු වන්නේ අත් හොඳින් සෝදා ලේන්සුවකින් දෑස් පිසදැමීමයි. එසේ නැතිනම්, මුහුණ පිසදමන ටිෂූ කොළයකින් දෑස් පිස දමා එය ඉවත දැමිය හැකියි. බස්රථයේ වෑන් රථයේ යනවිට අතින් ඇස් පිසදැමීම නුසුදුසු බව දරුවන්ට වටහා දිය යුතුයි.”

”විෂබීජ ඇස තුළට ඇතුළු වී පැය කීපයක් ඇතුළත ඇස කැසීමක් ඇතිවිය හැකියි. ඉන්පසුව කඳුළු ගැලීමක් සහ ඇස තුළට යමක් ඇතුළු වී ඇති බවක් හැඟී යනු ඇති. ඒ රෝගය වැළඳී ඇති බවට ලක්ෂණයක්.

මෙවැනි රෝග වැළඳුණු විට වඩාත්ම වැදගත් වන්නේ අන් අය මෙම රෝගයට ගොදුරුවීමෙන් වළක්වා ගැනීමයි. ප්‍රතිකාර කළත් නොකළත් වෛරස් ආසාදනයකින් ඇතිවන අක්ෂි පටල ප්‍රදාහය දින 3-5 කාලය තුළදී ඉබේ සුවවී යනු ඇති. දින 4ක් හෝ 5ක් ගතවන තෙක් පාසල් යාම හෝ රැකියාවට යාම සුදුසුවන්නේ නෑ.

ඒ එම කාලය තුළ අන් අයට රෝගය බෝවිය හැකි නිසයි. මෙහිදී දිනපතා නෑම සුදුසුයි. එමඟින් ඇසේ විඩාව සමනය වන අතර කබ කඳුළු ගලා ඒමේ ශීඝ්‍රතාව ද අඩු විය හැකියි. තම දරුවා මෙම රෝගයට ගොදුරු වී ඇත්නම් දරුවාගේ වැඩකටයුතු අවසන් කළ සෑම අවස්ථාවකදීම තම දෑස් සබන් දා සෝදාගෙන පිරිසිදු කරගැනීම වැදගත්”

”රෝගය වැළඳුණු අයකුගේ දෑස් සේදීමට සුදුසුම ද්‍රව්‍ය වන්නේ උණු කර නිවාගත් පිරිසිදු ජලයයි. නැතිනම් සේලයින් වතුරයි. එසේ නොමැතිව විවිධ කොළ වර්ග තැම්බූ ජලයෙන් ඇස් සේදීම තැවීම මඟින් ඇස් තවදුරටත් ආසාදනය විය හැකියි. ඒ; එම කොළ වර්ගවල විවිධ විෂබීජ තිබිය හැකි නිසයි.”

”කාන්තාවන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය පොදුවේ භාවිතා කිරීම මඟින්ද ඇස් රෝග බෝවන බව සොයාගෙන තිබෙනවා. එම නිසා තමත් භාවිතා කරන රූපලාවණ්‍ය ද්‍රව්‍ය පෞද්ගලික ද්‍රව්‍ය ලෙස ළඟ තබාගැනීම වැදගත්. එමෙන්ම ඇස් රෝගයක් වැළඳී ඇති විට රූපලාවණ්‍යාගාර වෙත යාමෙන් වැළකී සිටීම ද රෝග ව්‍යාප්ත වීම වැළැක්වීමට රුකුලක්.”

ඇස් රෝගයක් වැළඳී ඇති බව දැනගත් විට පවුලේ වෛද්‍යවරයාට පෙන්වීම වැදගත්. රෝගය සාමාන්‍ය ආසාදනයක් හෝ අසාත්මිකතාවයක් නම්, පවුලේ වෛද්‍යවරයා විසින් නිකුත් කරනු ලබන ඖෂධ භාවිතා කිරීම සුදුසුයි. ආසාදනය තරමක් බරපතළ එකක් නම් පවුලේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරනු ඇති.

ඇසට ඖෂධ ඉතා නිවැරැදිව යෙදිය යුතුයි. තම බාල දරුවාට ඇස් රෝගයක් වැළඳුණා යැයි සිතන්න. දිනකට දෙකකට පසුව වැඩිමහල් දරුවාටත් එම ඇස් රෝගයම වැළඳුණ ද තම බාල දරුවාට වෛද්‍යවරයා නියම කළ ඖෂධයම වැඩිමහල් දරුවට ලබා නොදිය යුතුයි. එමෙන්ම වසරකට පමණ පෙර නිවෙසේ අයකුට ගෙනා ඖෂධ ඉතිරි වී ඇත්නම්, එය ද දැන් භාවිතා කිරීම ඉතා නුසුදුසුයි.

ඇසකට කිසියම් ඖෂධයක් යෙදිය යුත්තේ වෛද්‍යවරයකු විසින් රෝගියා පරීක්ෂා කර බලා එම අවස්ථාවේ නිර්දේශ කරන ඖෂධ පමණයි. එසේ නැතිව වෙනත් රෝගියකුට හෝ වෙනත් අවස්ථාවක හෝ කල් ඉකුත් වූ ඖෂධ ඇසට යෙදීමෙන් අපගේ ශරීරයේ වටිනාම ඉන්ද්‍රියයක් වන ඇස අපට අහිමි විය හැකියි. ඇස් රෝගය පවතින දින කීපය තුළ රූපවාහිනිය බැලීමත් පොත් බැලීමත් සුදුසු නෑ.

________________________________

නිවැරැදිව බෙහෙත් දමන්නේ මෙහෙමයි

ඇස්වලට දැමිය යුත්තේ ඖෂධ එක් බිංදුවක් පමණයි. ඒ, ඇසේ රඳා පවතින්නේ එක් බිංදුවක ප්‍රමාණය පමණක් නිසා වැඩියෙන් දමන ඖෂධ අපතේ යනවා.

ඇස්වලට දමන දියර ඖෂධ බොහෝ විට එන්නේ ප්ලාස්ටික් බඳුන්වල මූඩිය විවර කළ පසුව එම බඳුනේ මුදුන කිසියම් තැනක නොගෑවෙන සේ තැබිය යුතුයි. ඇසට ඖෂධ දමන විට පළමුව රෝගියාව පුටුවක හිඳගැනීමට සැලැස්විය යුතුයි. ඉන්පසුව රෝගියාගේ නිකට උස්සා ඉහළ බැලීමට උපදෙස් දිය යුතුයි.

ඉන්පසුව ඇසේ යටි පිහාටුව මැදින් දබර ඇඟිල්ල තබා ඇහි පිහාටුව පහළට ඇදිය යුතුයි. එවිට ඇසේ පහළ කොටසේ කාණුවක් සේ කොටසක් විවර වනු ඇති.

ඖෂධ බිංදුව දැමිය යුත්තේ එතැනටයි. ඇසට ඖෂධ දැමූ පසුව රෝගියා නිසොල්මන්ව විනාඩි 2 ක් පමණ එම ඉරියව්වේම තැබීම වැදගත්. ඇසේ කබවලට හෝ අනෙක් කෙළවරට ඖෂධ යෙදීම නිවැරැදි ක්‍රමය නොවේ.

________________________________

ඇසට යමක් වැටූණූ විට ඇස් රෝගයක් සඳහා ඇසට මව්කිරි දැමීම හොඳද?

මව්කිරි ඇසකට දැමීමට ගන්නේ ශරීරය තුළ ග‍්‍රන්ථී ආශ‍්‍රයෙන් නිෂ්පාදනය වන ද්‍රවයක් නිසා එය පිරිසිදු යැයි සිතන මතය නිසා වන්නට පූළුවන්. නමූත් මව් කිරිවල සීනි හා විවිධ පෝෂණ කොටස් තිබෙන නිසා ක්ෂූද‍්‍රජීවින් වර්ධනයට පෝෂණ තත්ත්වයන් ඇතිවන්නටද ඉඩ තිබෙනවා. ඔබ නොදැනූවත්වම හෝ ඇසෙහි තුවාලයක් වී නම් මව් කිරි ඇසට දැමීමෙන් එම තුවාල ක්ෂද්‍ර ජීවින්ගේ ක‍්‍රියාකාරීත්වය වැඩිවීමෙන් ආසාදනය වැඩි වන්නට පූළුවන්.

මන්ද බැක්ටීරියා හා දිලීර වර්ධනයට ඉතා හොඳ පෝෂණ මාධ්‍යයක් තමයි මව්කිරි කියන්නේ. විශේෂයෙන් තව දෙයක් පවසන්නට ඕනේ. මව්කිරි නිෂ්පාදනය වන්නේ මව් කුසින් බිහිවන දරුවාගේ ආහාරය සඳහා පමණි. එය දරුවාගේ වර්ධනයට හා ආරක්ෂාවට ලැබෙන ආහාරයක් මිසක අක්ෂි වලට යොදන ඖෂධයක් නොවන බව මතක් කරන්න කැමතී. බැක්ටීරියා ආසාදනයකදී ඇසේ බාහිර පටලයේ ආසාදනතා ඇතිවීම සිදු වන්නේ. එය තුවාල වීමෙන් කැලැල් ඇතිවන්නට පූළුවන්. එම කැලැල් පාරදෘෂ්‍ය නොවේනම් (පරාවර්තනය නොවේ නම්* පෙනීමේ දුර්වලතා ඇතිවන්නට හැකියි. එයින් අන්ධ භාවය ඇතිවන්නට පූළුවන්. මේනිසා විවිධ පූද්ගලයින්ගේ මතවලට අනූව ප‍්‍රතිකාර කරනවාට වඩා අක්ෂි වෛද්‍ය වරයෙකුට පෙන්වීමෙන් දෑස ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් වන්න.

Post a Comment

 
Copyright © 2013 අපි දන්නා නොදන්නා දේ ........
Design by FBTemplates | BTT
Share